කුඩා කණ්ඩායම් සඳහා බයිබල් පාඩම්
පුරුදු රටාව තුළ ජීවත්වීම.
චක්‍රය යන වචනයේ සරල තේරුම වන්නේ දිගින් දිගට ඒකාකාරව යමක් සිදුවීම හෝ කිරීම යන අදහසයි. මේ අදහස අපගේ ජීවිතවලට අදාළ කරමින් පැවසෙන උපහැරණ අනන්තවත් අප අතර තිබෙයි. අද අප සාකච්චා කිරීමට බලාපොරොත්තුවන බයිබල් පාඩමේ තේමාවද ඒ හා සමාන අදහසක් ගෙනදෙයි.
ජිවිතයට හමා එන ප්‍රශ්න කරදර අමාරුකම් වලින් මිදීමට වෙනත් මඟක් නොමැතිවිට පමණක් දෙවියන් සොයා පැමිණෙන බොහෝ ඇදහිලිවන්තයන් අප අතර සිටියි. ඔවුන්ගේ විශේෂත්වය වන්නේ, තමන් විසින් විසඳාගත නොහැකි අභියෝගයක් පැමිණෙන විට පමණක් දෙවියන් සොයා පැමිණීමත් ඉන්පසු දෙවියන් අමතක කරදමා සාමාන්‍යය ලෙසින් තමන්ගේ පුරුදු රටාව තුල ජීවත්වීමේ පුරුද්දයි. බොහෝවිට එයත් හරියට චක්‍රයක් වාගේ ක්‍රියාවට නැගෙයි.
මෙවැනි අයගේ ජිවිත තුළ "දෙවියන්වහන්සේ" වෙනුවෙන් වෙන්වූ විශේෂ වූ ස්ථානයක් නොමැති බව පෙනෙන්නේ, දෙවියන්වහන්සේ ඔවුන්ගේ ජිවිතයේ අවසාන තෝරාගැනීම ලෙසින් දිස්වීමයි.
එබැවින් යම් යම් අවස්ථාවන් වලදී ඔවුන් දෙවියන් සොයා පැමිණෙන්නේ, හදිසියේම තමාට මුහුණදීමට සිදුවූ අමාරුකම හෝ උවමනාව වෙනුවෙන් තමාට කළහැකි වෙනත් දෙයක් නොමැති හේතුව නිසායි. එබැවින් තමාගේ අවශ්‍යයතාවය දෙවියන්ට බාරදී ඒ උවමනාව වෙනුවෙන් දෙවියන් සමග කේවල් කිරීම ඔවුන්ගේ මේ පුරුද්දයි.
ඇදහිලිවන්තයන් හැටියට අප කිරීමට පුරුදුවී සිටින මේ පුරුද්ද තුළ අප තේරුම් නොගත් අනෙක් පැත්ත වන්නේ, දෙවියන්වහන්සේ සමග කේවල් කිරීමක් අපිට කිසිසේත් කළ නොහැකි කාරණයයි. හේතුව දෙවියන්වහන්සේ මිනිසුන් සමග කේවල් කිරීමට එකඟ නොවෙනා බව උන්වහන්සේම පවසා තිබෙයි.
කේවල් කිරීම යන ඒ වචනයේ සරල තේරුම නොදන්නේ නම් මම කියන මේ කතාව තේරුම් ගැනීමටත් නොහැකි වන බැවින් ඒ ගැනත් සුළුවෙන් හෝ මෙහි පැවසීමත් ප්‍රයෝජනවත් යැයි සලකන්නේ පාඩමේ අරමුණ තේරුම් ගන්නා පිණිසයි.
“කේවල් කිරීම” යන මේ පදයෙන් අදහස් කෙරෙන්නේ, ඔබ මට යමක් කරදෙන්නේ නම්, ඒ වෙනුවෙන් මමත් ඔබට යමක් කරදෙන්නම් යන ඒ “එකඟතාවයට” පැමිණීමේ පොරොන්දුවයි. .
ඒ අනුව මුහුණ දෙන තත්වයේ බැරෑරුම්කම මත බොහෝවිට දෙපාර්ශවය විසින් එකඟතාවයට පැමිණෙන මේ “කේවල්” කිරීමේ එකඟතාවය වෙනස් වන්නේ, අවශ්‍යයතාවයේ බැරෑරුම් කම සහ එයට උපකාර කිරීමට හැකි තත්වය අනුවයි. .
උදාහරණයක් ලෙසින්, සාමාන්‍යය ගනයේ උවමනාවක් ඉෂ්ඨකර දීම වෙනුවෙන් පොරොන්දුවන පඬුර සුළු එකක් වන්නේ ප්‍රශ්නය සාමාන්‍යය එකක් වන හේතුව උඩයි. ඒ නුමුත් මුහුණ දෙන අභියෝගය බැරෑරුම් එකක් වන විට දෙවියන් සමග කරන කේවල් කිරීම දේවස්ථානයෙන් භාගයක් වුනත් හදා දෙන තරමට දිග්ගැස්සෙන්නේ, තමා මුහුණ දෙන අවශ්‍යය තාවයේ දැඩිකම මතයි.
උවමනාව සාමාන්‍යය එකක් නම් ඒ වෙනුවෙන් දෙවියන් ඉදිරියේ කරණ කේවල් කිරීමත් සාමාන්‍යය ලෙසින් සිදුවෙයි. නුමුත් තත්වය බරපතල එකක් වන විට අපි දෙවියන්ටත් මුදලින් හෝ පුද පුජාවලින් හෝ පොරොන්දු දෙන්නේ තමාගේ උවමනාව කරදෙන්නේ නම් ඒ වෙනුවෙන් තමාත් දෙවියන්ට ප්‍රති උපකාරයක් කරනා එකඟතාවය උඩයි.
දෙවියන් සමග අපි කිරීමට පුරුදුවී සිටින මේ කේවල් කිරීම බොහෝවිට පුද්ගලිකව අප අතින් හෝ දේවස්ථානවල අප වෙනුවෙන් දෙවියන් ඉදරියේ පෙනීසිටින අතර මැදි දේව ගැතිවරයන් තුලින් හෝ සිදුවෙනු දැකීමට හැකිවුනත්; පිහිට උපකාරය ලබාදීම ගැන හෝ ආශිර්වාදය කිරීම ගැන දෙවියන්වහන්සේ පොරොන්දු වී ඇත්තේ, උන්වහන්සේ අපට සියල්ල නොමිලේ ලබාදීමට “පමණක්” බැඳී සිටින කාරණයයි.
දේව කැමැත්ත එය නම් දෙවියන් ඉදිරියේ කේවල් කිරීම මේ අදටත් අප අතර සිදුවන්නේ ඇයි? යන ඒ ප්‍රශ්ණය ඔබටත් ප්‍රශ්ණයක් නම්, එය සිදුවන්නේ දේව වචනය ගැන පැහැදිලි අවබෝධයක් නොමැති හේතුවත් එසේම දේව වචනය වෙනුවට පාරම්පරික පුරුදු අනුගමනය කිරීමට පුරුදුවී සිටීමත් යන කාරණය නිසායි.
ඒ අතර දෙවියන්වහන්සේ කරුණාවෙන් සහ ප්‍රේමයෙන් පිරි අයෙක් බව දැනගෙනත් සමහර ඇදහිලිවන්තයන් පඬුරක් පොරොන්දු වුනොත් දෙවියන් ගෙන් තම උවමනාවට අවශ්‍යය පිළිතුර හෝ දෙවියන්ගේ අවධානය තමා වෙත ඉක්මනින් ලබාගත හැකියි යන ඒ බලාපොරොත්තුවෙන් දෙවියන් සමග යාඥාවෙන් කේවල් කිරීමට පුරුදුවී සිටියි.
බොහෝවිට එය සිදුවන්නේ මුහුණ දීමට සිදුව ඇති අභියෝගයේ අමාරුකම හේතු කරගෙන වුවත් , ඒ පුරුද්ද පවා දේව වචනයේ ඇති ඉගැන්වීමට පටහැනිව සිදුවන බව ඔවුන් නොදැන එසේ කරන්නේ ලෝකයා කරන ආකාරයටයි. මෙහිදී පවා සිදුවන්නේ ලෝකයේ සිදුවන අනෙක් සියලු දේවල් ඒ ආකාරයෙන් සිදුවන බැවින් දෙවියන් සම්බන්ධ කාරනාද ලෝකයේ ආකාරයට කරගත හැකියි යන පිළිගැනීම නිසායි. .
දෙවියන්වහන්සේ අප සමග ක්‍රියා කරන්නේ එලෙසින් නොවන බව හෝ උන්වහන්සේ සමග සම්බන්ධකම් පැවැත්වීම සඳහා උන්වහන්සේම විසින් අපට දී ඇති උපදෙස් අවවාද ඉගැන්වීම් ගැන හෝ සැලකිලිමත් නොවී නාමිකව පමණක් ඇදහිලිවන්තයන් හැටියට ජීවත්වීමත් එයට හේතුවෙයි.
මේ පටලැවිල්ලට මුල්වන පළමුවැනි කාරණය වන්නේ දෙවියන්වහන්සේ අපගේ කැමැත්තට නම්මා ගත හැකියි යන පිළිගැනීමත් අප තුල සුළුවෙන් හෝ තිබීමයි. එබැවින් බොහෝවිට අප කරන්නේ, දෙවියන් කැමති යැයි අපට හැඟෙන යමක් හෝ දෙවියන්වහන්සේ වෙනුවෙන් පෙනීසිටින එවැනි අතර මැදියෙකු පවසා සිටින දෙයක් ඒ වෙනුවෙන් කිරීමට ඉදිරිපත් වීමයි. නුමුත් මෙහිදී අප අතින් සිදුවන වැරැද්ද වන්නේ දෙවියන්වහන්සේ දී ඇති උපදෙස් වලටත් වඩා අපි ලෝකයා කියන උපදෙස් අනුගමනය කිරීමට කැමතිවී ක්‍රියා කිරීමයි.
එයට මුල්වී එන දෙවැනි කාරනාව වන්නේ, දෙවියන්වහන්සේ දෙවියන් බැවින් උන්වහන්සේ නමස්කාර කිරීමට හෝ උන්වහන්සේගේ වචනයට කීකරුවී අපගේ පුද්ගලික ජිවිත හැඩ ගස්සා ගැනීමට හෝ අපට උවමනාවක් නොවීමයි. ජිවිතයේ අනෙක් සියල්ල අපට වැදගත් වුවත්, දෙවියන්වහන්සේ වෙනුවෙන් වැදගත් ස්ථානයක් අප තුල නොවන නිසා දෙවියන් සොයා එන්නේ ජිවිතයට වැරදුන තැනක් හරිගස්සා ගැනීමට පමණක් වීමත් එයට හේතුවයි.
දෙවියන්වහන්සේගේ සැළැස්ම මෙන්ම මිනිසුන් වන අප වෙනුවෙන් ඇති උන්වහන්සේ කැමැත්ත ගැනත් දෙවියන්වහන්සේම උන්වහන්සේගේ වචනයේ එළිදරව් කර ඇත්තේ උන්වහන්සේ අපගේ මැවුම්කාරයාණන් වහන්සේද වන නිසායි. මේ හේතුව උන්වහන්සේ අපගේ දෙවියන්වහන්සේ යන ඒ තත්වයට පත් කරන අතරම මිනිසුන් වන අපි උන්වහන්සේගේ කැමැත්ත කිරීමට අවශ්‍යය වන්නේ උන්වහන්සේ අපගේ මැවුම්කාර දෙව් පියාණන්ද වන නිසායි.
දෙවියන්වහන්සේ ධර්මිෂ්ඨ බවත් එසේම උන්වහන්සේ සැමවිටම උන්වහන්සේගේ සැළැස්මට සහ කැමැත්තට අනුව පමණක් ක්‍රියා කරන බවත් පවසන්නේ වෙන කවුරුත් නොව නුමුත් දෙවියන්වහන්සේමයි. මිනිස් වර්ගයා වෙනුවෙන් ඇති දෙවියන්වහන්සේගේ ප්‍රේමය තමන් වහන්සේගේ ජීවිතය පව්කාර මිනිස් වර්ගයා ගලවා ගැනීම වෙනුවෙන් පුජාවිමට සැලැස්වීම තුලින් පෙනෙන්නේ මිනිසා වෙනුවෙන් ඇති උන්වහන්සේගේ ප්‍රේමයේ විශාලත්වයයි. ඒ තරම් දුරට උන්වහන්සේ අපට ප්‍රේම කරනවා නම්, දෙවියන් ගෙන් යමක් ලබාගැනීමට කේවල් කිරීමක් කිරීමට අවශ්‍යය නොවෙන් බව ඒ කාරණයද පෙන්වයි. .
මෙහිදී අපෙන් බොහෝ දෙනක් නොදැන සිටින කාරණය වන්නේත් එයයි. දෙවියන්වහන්සේට කීකරුවිම තුලින් අපි ලබන්නේ දෙවියන්වහන්සේට සම්බන්ධ වීමට හැකි මාර්ගය විවරකර ගැනීමයි. ඒ සම්බන්ධය දෙවියන්වහන්සේගේ කැමැත්ත තුල ජීවත්වීමට අපට මඟ පෙන්වනවා පමණක් නොව නුමුත් ඒ සම්බන්ධය අපව දෙවියන්වහන්සේගේ කරුණාව වෙතටත් ඔසාවා තබයි. දෙවියන්වහන්සේගේ කරුණාව තුල ජීවත්වීම ආශිර්වාදයට මඟ පාදාගැනීම වන්නේ දෙවියන්වහන්සේගේ කැමැත්ත අපගේ ජීවිතවල සිදුවනවිට උන්වහන්සේ අප වෙනුවෙන් ක්‍රියා කරන බවටත් දේව වචනයේ ඒ ගැන සඳහන් වී තිබීමයි.
මේ සම්බන්ධය සහ එතුලින් ලැබෙන ආශිර්වාදය පහදා දීමට යේසුස් වහන්සේ ඒ වෙනුවෙන් යොදාගත් උදාහරණය අලුත් ගිවිසුමේ මෙසේ සටහන්වෙයි. “මා තුලෙහි පවතින්න, මමත් නුඹලා තුලෙහි පවතින්නෙමි. අත්ත මිදිවැලට සම්බන්ධ නොවී තනියම එයට ඵල දරන්නට බරුවාක් මෙන්, නුඹලා මාතුලෙහි නොපවතියි නම්, ඵල දරන්නට නුඹලාටත් බැරිය. මිදිවැල මමය. නුඹලා අතුය. යමෙක් මා තුලෙහි පවතින්නේද, මම ඔහු තුලෙහි පවතින්නෙමි. ඒ තැනැත්තේ බොහෝ පහල දරයි..” -යොහාන් 15
දෙවියන්වහන්සේගේ කැමැත්ත දැනගෙන ඒවාට කීකරුවී ජීවත්වීම තුලින් අපට අප ජිවත්වන මේ ජිවිත රටාව සම්පුර්ණයෙන්ම වෙනත් මඟකට හරවා ගතහැකි බව දෙවියන්වහන්සේ කියා සිටියි.
ඇදහිලිවන්තයන් හැටියට පමණක් නොව නුමුත් දෙවියන්වහන්සේ නොදන්නා මිනිසුන් හැටියටත් අපට දෙවියන්වහන්සේ ගෙන් පිහිට උපකාරය පමණක් නොව නුමුත් ආශිර්වාදයත් ලබාගත හැකි බව දෙවියන්වහන්සේ පොරොන්දු දී තිබුනත් ඒ පොරොන්දුව අප තුල ඉබේම ඉටු නොවන්නේ, පව්කාර ස්වභාවය අපව දෙවියන්වහන්සේ ගෙන් වෙන්කර තබා තිබීමේ හේතුව උඩයි. . ඒ බැවින් ඒ වෙනුවෙන් පළමුවෙන්ම දෙවියන්වහන්සේම විසින් පාපයට සමාව ලබාගන්නා පිණිස අපට විවරකරදී ඇති කුරුසියේ මාර්ගය පිළිගැනීමට සිදුවෙයි.
"මෙන්න, මම දොරටුව (හදවත) ළඟ ඉඳ තට්ටු කරමි. යමෙක් මාගේ හඬ අසා දොර (හදවත) විවර කරන්නේ නම්, මම ඔහු තුළට එන්නෙමි. ඔහුද මා සමග වන්නේය". - එළිදරව් 3:20
දෙවියන්වහන්සේට සම්බන්ධ වන්නේ කොහොමද යන්න ඔබටත් ප්‍රශ්ණයක් නම් ඒ පදය ඒ ගැන පැහැදිලි කිරීමක් කරයි. අපි අපගේ හදවත් උන්වහන්සේ වෙතට විවරකර දෙන විටදී උන්වහන්සේ අපගේ හදවත් තුලට පැමිණ අප සමග ජිවත්වන බව එහි සඳහන් වෙයි. දෙවියන්වහන්සේගේ ආත්මය අප තුල ජිවත්වන විටදී දෙවියන්වහන්සේ සමග අපට ඇති සම්බන්ධයද සමීප එකක් වෙයි. එවිට අපගේ හඬ දෙවියන්වහන්සේට ඇසෙනවා වාගේම දෙවියන්වහන්සේගේ හඬත් අසා දැනගැනීමට අපටත් හැකිවෙයි.
අපත් සමග කේවල් කිරීමට දෙවියන්වහන්සේ බැඳී නැති බව දේව වචනය පැහැදිලිව පෙන්වාදී තිබුනත්, අප හදවතින් අවන්කවී උන්වහන්සේගේ කැමැත්තට අනුව කරණ යාඥාව ඇසීමට පමණක් නොව නුමුත් ඒ යාඥාවට පිළිතුරු සපයා දිමටත් උන්වහන්සේ පොරොන්දු දී ඇති බව බයිබලය වාර්තා කරයි.
"මා විසින් නුඹලාට කි වචනය කරණකොටගෙන නුඹලා දැන් පවිත්‍රය. මා තුළ පැවතියල්ලා, මමත් නුඹලා තුළ පවතින්නෙමි.නුඹලා මා තුලෙහි පවතින්නෝ නම්, මාගේ වචනය නුඹලා තුලෙහි පවතී නම්, නුඹලා කැමති දෙයක් ඉල්ලා පල්ලා,එවිට නුඹලාට දෙණු ලැබේ". -යොහාන් 15
යාඥාවන් නොහොත් අප කරන ඉල්ලීම් වලට දෙවියන්වහන්සේ ගෙන් පිළිතුරු ලබා ගැනීම සඳහා මුල්වන කොන්දේසියක් ගැනත් එහි වාර්තා වෙයි. එබැවින් ඒ කොන්දේසිය යටතේ අපි උන්වහන්සේගෙන් ඉල්ලා සිටින විටදී උන්වහන්සේද අපගේ හඩට සවන්දෙනවා පමණක් නොව නුමුත් අප විසින් කරන ඉල්ලීම් වලටත් පිළිතුරු දෙන බවට උන්වහන්සේ එහි පොරොන්දු දී තිබෙයි.
යේසුස් වහන්සේ විසින් ඉල්ලා සිටීම සහ ලබාගැනීම ගැන දී ඇති මේ කොන්දේසිය පැහැදිලිව පවසා සිටින්නේ, අප උන්වහන්සේගේ වචනයට කීකරුව ජීවත් වන්නේ නම්, දෙවියන්වහන්සේ අපගේ හඬටත් ඇහුන්කන් දීමට කැමැත්තෙන් සිටින බවයි.
යේසුස් වහන්සේ සඳහන් කල මේ කොන්දේසිය පෙන්වාදෙන අනෙක් කාරණය වන්නේ, දෙවියන්වහන්සේ අපගේ පුද්ගලික පැත්තට කැමැත්තක් දක්වන කාරණයයි. එයින් අදහස් කෙරෙන්නේ, දෙවියන්වහන්සේට අපගේ හදවත් ඇතුලේ ඇති අපගේ සැඟවුණ අරමුණු වැදගත් වන බව පැවසීමයි.
දෙවියන්වහන්සේ ඉදිරියේ යමෙක් ඇදහිලිවන්තයෙක් ලෙසින් පෙනීසිටින්නේ, අපගේ හදවත්වල අරමුණ උන්වහන්සේගේ අරමුණු වලට සාපේක්ෂ වන විටදී පමණයි. අපි දෙවියන්වහන්සේගේ අරමුණුවලට හදවතින් එකඟ වී සිටින බව එය පෙන්නුම් කරයි. එවිට පමණක් දෙවියන්වහන්සේ ඉදිරියේ අපි සැබෑ ඇදහිලිවන්තයන් වන අතර එවැනි ඇදහිලිවන්තයන් උන්වහන්සේගේ සාක්ෂිකාරයන් බව උන්වහන්සේම පවසා සිටියි.
එවිඅට පමණක් අපගේ හඬට ඇහුන්කදීමට උන්වහන්සේ කැමති බව එහි සඳහන් වීම පෙන්වාදෙන්නේ, අපගේ කැමැත්ත නොව නුමුත් දෙවියන්වහන්සේගේ කැමැත්ත සොයා දැනගෙන ඒ අනුව ජීවත්වීමට අපගේ හදවත් වෙනස්කර ගන්නා විටදී උන්වහන්සේ අප ගැන සැලකිලිමත් වන වගයි.
දෙවියන්වහන්සේ විසින් ඉදිරිපත් කර ඇති ඒ කොන්දේසිය අප ජීවත්වීමට පුරුදුවී සිටින අපගේ මේ ජිවිත රටාවත් සමග සසඳා බැලීමේදී පෙනෙන වෙනස වන්නේ, දෙවියන්වහන්සේට සම්පුර්ණයෙන් කැපවූ ජිවිතයක් උන්වහන්සේ අපෙන් බලාපොරොත්තු වුවත්, දෙවියන්වහන්සේ වෙනුවෙන් අප තුල ඇති උනන්දුව සහ කැපවීම අවම තත්වයේ තිබීමයි. අප ගැන අපගේ පවුලේ කටයුතු ගැන දරුවන් ගැන අනාගතය ගැන යන මේවා අපට වැදගත් වුවත් ඒ සියල්ල අතරේ දෙවියන්වහන්සේ ට හිමිව ඇත්තේ අවශ්‍යය වුනොත් පමණක් දෙවියන් සෙවීමට ඇති උනන්දුවයි. කාලයාගේ අවෑමෙන් හිටිහැටියේ තවත් ප්‍රශ්ණයක් හිසමතට කඩාවැටෙන තෙක් අපි අපට පුරුදු ජිවිත රටාව තුළ ඔහේ ජීවත්වීමට පුරුදුවී සිටින්නේ දෙවිකෙනෙක් නොමැති ගානටයි.
අප ජීවත්වීමට පුරුදුවී සිටින මේ ජිවත රටාව අලුත් එකක් නොවෙන බව පරණ ගිවිසුම කියවන විටදී පැහැදිලිව පෙනෙන්නේ දෙවියන් වහන්සේම විසින් තෝරාගත් සෙනගක් වූ ඒ ඉශ්රායෙල් සෙනගද එවැනිම ජිවත රටාවකට පුරුදුවී ජීවත්වූ සෙනගක් බවත් බයිබලයේ ඇති වාර්තා වල දැකීමට හැකිවීමයි. ඔවුන්ගේ ඒ පුරුද්ද දිගින් දිගටම චක්‍රයක් සේ සිදුවූ බවත් බයිබලයේ සටහන් වෙයි.
ඔවුන්ගේ ඒ තත්වය ගැන දෙවියන්වහන්සේම පවසන ආකාරය යෙසායා නමැති අනාගතවක්තෘ වරයාගේ පොත මෙසේ වාර්තා කරසිටියි.
"කැරළිකාරවූ තමුන්ගේ යෝජනා අනුව හොඳ නැති මාර්ගයක යන්නාවූ සෙනගක් දෙසට දවස මුළුල්ලේම මාගේ අත් විදහාගෙන සිටියෙමි." -යෙසායා 65:2
යෙසායා තුලින් දෙවියන්වහන්සේ පවසා සිටින මේ ප්‍රකාශය ඉශ්රායෙල් සෙනග සතු වූ ඔවුන්ගේ ඇතුල් පැත්ත පෙන්නුම් කරයි. ඔවුන්ගේ අකිකරුකම මුල්වූ ඒ මුරණ්ඩු ජිවිත රටාව එතුළින් පැහැදිළිව විදහා දැක්වෙයි.
ඒ නුමුත් එතුල දිස්වෙන දෙවියන්වහන්සේගේ ක්‍රියාව අපට බලාපොරොත්තුව ඇති කරන්නේ, ඉශ්රායෙල් සෙනග එවැනි කැරලිකාර සෙනගක් වුවත් ඔවුන් වැනි හිතුවක්කාර මිනිසුන් වෙනුවෙන් දෙවියන්වහන්සේගේ දෑත් දවස මුළුල්ලේම විහිදාගෙන සිටිය බවත් එහි දැකීමට හැකිවීමයි. අකීකරු මිනිසුන් වන අප වෙනුන් ඇති දෙවියන්වහන්සේගේ අප්‍රමාන ප්‍රේමය එතුලින් එලි දකියි.
වරක් දෙවරක් නොව නුමුත් හත් වතාවකටත් වඩා ඉශ්රායෙල් සෙනග දෙවියන්වහන්සේ සමග ඇතිකරගත් පොරොන්දුව අමතක කරදමා ගිය බව ඉශ්රායෙල් ඉතිහාසය පෙන්වාදෙයි. ඒ නුමුත් ඒ සෑම අවස්තාවකදීම උන්වහන්සේ ඒ වෙනුවෙන් ඔවුන්ට සමාව දෙමින්, ඔවුන් සමග නැවත වතාවක් තම ගිවිසුම අලුත් කරගත් බවත් එහි දක්නට ලැබෙයි. දෙවියන්වහන්සේ ගේ ඒ ක්‍රියාව පෙන්නුම් කරන්නේ, උන්වහන්සේ කරුණාවෙන් පිරුණු දෙවිකෙනෙකු පමණක් නොව නුමුත් කෝප වන්නටත් ප්‍රමාධවන දෙවිකෙනෙකු බවයි.
දෙවියන්වහන්සේගේ පැත්තෙන් එය පෙන්වාදෙන්නේ, වැරැද්දට දඬුවම් කරනවා වෙනුවට, දෙවියන්වහන්සේ වැරැදී ගැන පසුතැවිලිවන මිනිසුන් කෙරෙහි අනුකම්පාව දක්වන දෙවි කෙනෙක් හැටියටයි. දෙවියන්වහන්සේගේ ඒ කරුණාව එදා මෙන්ම මේ අදටත් අප වෙනුවෙන් පවා එකසේ පවතියි.
දෙවියන්වහන්සේ ප්‍රේමයෙන් පමණක් නොව නුමුත් අසීමිත කරුණාවෙන්ද පිරුණු දෙවි කෙනෙකු වන බැවින් උන්වහන්සේ අපගේ වැරදි ගැන නොව නුමුත් ආත්මික ගැලවීම ගැන උනන්දුවෙන් ක්‍රියා කරනු පෙනෙයි. . එය පෙන්වාදෙන්නේ, කුමන අරමුණකින් අපි දෙවියන්වහන්සේ සොයමින් උන්වහන්සේ වෙතට පැමිණියත්, හදවතින් අවංක වී අපි උන්වහන්සේගේ මුහුණ සොයන්නේ නම්, උන්වහන්සේගේ කරුණාව අපට අල්ලා ගතහැකි බවයි. .
උවමනාවන් සපුරා ගැනීම වෙනුවෙන් පමණක් නොව නුමුත් ජීවිතයේ වැරදි හරිගස්සා ගනිමින් දෙවියන්වහන්සේගේ උපකාරය ඇතුව යහපත් ජිවිතයක් ගත කිරීමට අවංකවම දෙවියන්වහන්සේගේ පිහිට උපකාරය සොයන පුද්ගලයන් කිසිසේත් උන්වහන්සේ අත්නොහරින බවට යේසුස් වහන්සේද පොරොන්දු වී තිබෙයි.
“මා වෙතට එන තැනැත්තා මා විසින් කිසිසේත් අහක දමන්නේ නැත. මක්නිසාද මා ස්වර්ගයෙන් බස ආවේ මාගේ කැමැත්ත නොව, මා එවූ තැනැන්වහන්සේ ගේ කැමැත්ත කරන පිණිසය. මා එවූ තැනැන්වහන්සේ ගේ කැමැත්ත නම්, උන්වහන්සේ මට දුන් සියල්ලෙන් කිසිවක් නැතිවෙන්නට නෑර, මා විසින් අන්තිම දවසේදී නැගිටුවීමය.” -යොහාන් 6: 37
ඒ පොරොන්දුව පාවුල් තුමාද හෙබ්‍රෙව් පොතේ මතක්කර දෙනු පෙනෙයි.
“මක්නිසාද මම කිසිසේත් නුඹෙන් අහක්ව නොයමි. කිසි අන්දමකින්වත් නුඹ අත් නොහරිමි යැයි උන්වහන්සේම කියා තිබේ.”-හෙබ්‍රෙව් 13:5.
දෙවියන්වහන්සේ කරුණාවෙන් ක්‍රියා කලත් ඉශ්රායෙල් සෙනග පුරුදුවී සිටිය ඔවුන්ගේ ඒ ජිවිත රටාව අවසානයේදී ඔවුන් ඉතා පහත් තත්වයකට ඇද දැමූ බවත් ඔවුන්ගේම ඉතිහාස කතාව පවසයි. මිසරයේ පාරාවෝ රජුගේ වහල් කමෙන් ඔවුන්ව මුදවාගත් ඒ දෙවියන්වහන්සේව ඔවුන් විසින් අමතක කර දැමීමේ හේතුවෙන් ඔවුන් නැවත වතාවක් බබිලෝනියේ වහලුන් බවට පත්වන්නේ ඔවුන්ට පිහිටවීමට සිටිය ඒ දෙවියන්වහන්සේව ඔවුන් අත්හැරදමා තිබු හේතුව වූ බව දැකීම කණගාටුවට කරුණක් වුවත්, ඒ අවසානය හිමිකර ගැනීමට හේතුවන්නේ ඔවුන්ගේම ජිවිත රටාව බව අප මෙහිදී තේරුම් ගත යුත්තේ ඇදහිලිවන්තයන් වන අපගේ ජිවිත රටාවත් ඒ ආකාරයෙන් යුතු වූ එකක් නම් එය වෙනස් කරගන්නා පිණිසයි. .
ක්‍රිස්තුස් වහන්සේ අදහන ඇදහිලිවන්තයන් වන අපත් අපගේ ජිවිත රටාව ගැන දිගින් දිගටම අකීකරු වන්නේ නම් අපගේ ආදීනයද එසේම වියහැකි බවට සැකයක් නොවන්නේ දෙවියන්වහන්සේගේ පිහිට උපකාරය එවිට අපටත් නොමැති තත්වයකට පත්වන නිසායි. මේ තත්වය නාමික ඇදහිලිවන්තයන් බවට අපව පත්කරනා අතර නමට පමණක් ඇදහිලිවන්තයන් වී සිටීම ප්‍රයෝජනවත් නොවන්නේ, එතුල දෙවියන්වහන්සේගේ මඟපෙන්වීම නොමැති හේතුවයි.
මේ අදහස කෙළින්ම පවසනවා නම්, ආත්මිකව මරුණාවූ නාමික ක්‍රිස්තියානි කාරයන් වී ජිවත්වීම තුල ඇත්තේ ආත්මික බංකොලොත් භාවය (හිස්කම) මිසක් ආශිර්වාදය නොවෙයි. දෙවියන්වහන්සේ කිසිවිටෙකත් අප තුළ බලෙන් ලැගුම් ගැනීමට නොපැමිණෙන නිසා උන්වහන්සේට කිකරුවිම තුලින් පමණක් අපට ආශිර්වාදය උරුමකරගත හැකි මාර්ගයට පිවිසිය හැකියි. එය වුවත් සිදුවන්නේ තමා අවංකවී ඒ ගැන ක්‍රියා කරන්නේ නම් පමණි.
දෙවියන්වහන්සේට දියයුතු සුදුසු ස්ථානය අපි උන්වහන්සේට දීමට කැමතිවීම යනුවෙන් අදහස් වන්නේ උන්වහන්සේගේ කැමැත්ත කිරීමට කැමතිවීම යන තීරණයට එළඹීමයි. අපගේ හදවත් උන්වහන්සේ හා සමග හරිගැස්සෙන විට අපද උන්වහන්සේ තුළ ආත්මිකව වර්ධණය වීමත් ඇරඹෙන බැවින් එවිට උන්වහන්සේගේ හඬ ඇසීමටත් උන්වහන්සේගේ කැමැත්ත දැනගෙන කීකරුව ජීවත්වීමටත් ඒ ආත්මික සම්බන්ධකම උපකාරී වෙයි.
අප අවංකව දෙවියන්වහන්සේව ඇදහීම පටන් ගන්නා විට අප තුළ ජිවත්වන ශුද්ධ ආත්මයාණන් වහන්සේ අපගේ ආත්මික මඟපෙන්වන්නා බවට පත්වී ක්‍රියා කරන්නේ එය අපගේද කැමැත්ත වන නිසායි. එවිට අප දෙවියන් සොයන්නේ අපගේ උවමනාවන් පිරිමසා ගැනීමට පමණක් නොව නුමුත් උන්වහන්සේව දෙවියන්වහන්සේ ලෙසින් පිළිගෙන වැඳ නමස්කාර කිරීමටයි.
“යේසුස් වහන්සේ මෙසේ කියන සේක; වෙහෙස වන්නාවූ බර උසුලන්නාවූ සියල්ලෙනි, මා වෙතට එන්න. මම නුඹලාට සහනය දෙමි. මම සිතින් මෘදුව යටත්ව සිටින බැවින් මාගේ වියගහ නුඹලා පිටට ගෙන, මාගෙන් ඉගෙන ගන්න. එවිට නුඹලාගේ ආත්මවලට සහනය ලැබෙන්නේය. -මතෙව් 11:28
(ධර්මදාස වෙබ් අඩවියෙන් උපුටා ගන්නා ලදී.)
contact@darmadasa.org (ධර්මදාස වෙබ් අඩවියෙන් උපුටා ගන්නා ලදී.)